සිරස පන්සිල් මලුව

නමුත් ඔබට ඔබව විශ්වාස නැතිනම් ඔබ අදක්‌ෂ නම්, මාන්නය, උද්ධච්ච භාවය, මාර්ග ඵල උම්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්‌මීම අත්‍යවශ්‍ය බව සිතන්න. එසේ නොවුණහොත් ඔබ මංමුලා වනු ඇත. ඔබේ හැකියාවන් ගැන අධි තක්‌සේරුවකට නොඑන්න. තීරණ ගැනීමේදී බුද්ධිමත් වන්න. ඔබ මන්දගාමී නොවන්න. ශීඝ්‍රගාමීද නොවන්න. කාලසටහන්, පෙර සූදානම්, සැලසුම්වලින් හිස්‌වන්න. කිසිම ආයාසයක්‌ නොකරන්න. ඉරහඳ, මහපොළොව, සාගරය ආයාසයකින් තොරව ඒවායේ ස්‌වභාවයෙන් හැසිරෙන්නා සේ ඔබ ඔබේ ස්‌වභාවය තුළම නිවන් මඟ වඩන්න. ස්‌වභාව ධර්මයේම කොටසක්‌ වන්න. ස්‌වභාව ධර්මයත් ඔබත් අතර පරතරයක්‌ නොතබන්න. බැසයන සඳත්, නැඟ එන ඉරත් ඔබ ඔබේ සිතිවිලි සමග සසඳන්න. නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක්‌ වන්න. බුදු ගුණ මෙනෙහි කිරීම නවතා ඔබ පැවිදි වූයේ ඇයිද යන්න නිරතුරුව මෙනෙහි කරන්න. එසේ මෙනෙහි කරනා වාරයක්‌ පාසා ඔබ දකින්නේ බුදුරජාණන් වහන්සේව බව අත්දැකීමෙන් දකින්න.

නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. නිහතමානිකම යනු හීනමානය නොවේ. භික්‍ෂුව යනු මෙලොව සිටින ජවසම්පන්නව ඉලක්‌කය කරා හඹායන පුද්ගලයාම විය යුතුය. ඔහුව ඉක්‌මවීමට සමතෙක්‌ මේ තුන් ලෝකයේවත් නැත. මහ වනයේ තනිවම සරණ ඇතකු සේ ඔබ සොයන නිදහස ඔබම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී රාත්‍රිය, දහවල, වැස්‌ස, ශීත, කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කිරීමට නොහැකිය. මෙලොව සිටින ජවසම්පන්නම පුද්ගලයා සේ ඔබ කෙලෙස්‌ මාරයාව හඹා යනු ඇත. ඔබ සොයන නිදහස සාක්‌ෂාත් කරගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. එය දෙවියකුට බ්‍රහ්මයකුට කළ නොහැක්‌කකි. ඔහුට හැකියාව ඇත්තේ ඔබට සාධුකාර දීමය. ඔබ ඉදිරියේ ඔවුන් දෙවැනිය. මේ මුළු විශ්වයම සියුම්කොට ඔබේ දෝතට ගෙන, ඔබ මේ ලෝකයෙන් එතෙර වූ මුණිවරයෙක්‌ වන්න. ඔබට එය හැකි වන්නේ එක්‌කෝ මරණය, එක්‌කෝ නිවීම යන බරපතල තීරණය ගැනීමට සමත් වුවහොත් පමණකි. එවිට ඔබ සොයන නිදහස අර්ථවත් කරගත හැකිය.

Share

ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා.